නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අථ පාපානි කම්මානි - කරං බාලො න බුජ්ඣති
සෙහි කම්මෙහි දුම්මෙධො, අග්ගි දඩ්ඪොව තප්පති

බාල වග්ග, ධම්මපද

සැදැහැවත් පින්වතුනි,

කර්ම විපාකවල බැරෑරුම්කම තේරුම් නොගැනීමෙන්, හරියට ඒ පිළිබඳ අවබෝධයක් නැතිකමින්, මේ සංසාරයේ සත්ත්වයින් විපතට පත්වෙන හැටි, දැවීමට තැවීමට පත්වෙන හැටි, බුදුපියාණන් වහන්සේගේ බොහොම අවස්ථාවල සාධක සහිතව දක්වා වදාළා. මේ ශාසනයේ අඥාන පුද්ගලයට යෙදෙන වචනය ‘බාලයා’ කියන එකයි. සාමාන්‍ය ව්‍යවහාරයේ බාලයා කියලා කියන්නේ කුඩා දරුවාට. කුඩා දරුවෙක් නමුත් නොදන්නාකමින් ගිනි දැල්ල අල්ලන්න ගියොත් දැවෙන්න තැවෙන්න සිද්ධවෙනවා. එකට හේතුව මොකද, ගින්නේ ස්වභාවය දවන එකයි. ඒ වගේම කර්ම නියාමතාව කියලා නීතියක් තිබෙනවා. ලෝක සාධාරණ නීතියක්. බුදුවරුන්ට රහතන්වහන්සේලාට පවා සාධාරණ වූ එක්තරා නීතියක් තියෙනවා ස්වභාව ධර්මයේම ,කර්ම නියාමතාව කියලා. ඒ කර්ම නියාමතාව අනුව කවුරුහරි පාප කර්මයක් කළොත්, නොදන්නාකමින් කළා වුණත්, කර්ම විපාක ගැන විශ්වාසයක් නැතිව, ඇදහිල්ලක් නැතිව කළා උනත්, ඒකට බරපතල විපාක විඳින්න සිද්ධ වෙනවා. අපි මේ මාතෘකා කළ ගාථා ධර්මයට අදාළ නිදාන කථාවත් කර්ම විපාකවල භයානකත්වය හෙළිකරන කථාන්තරයක්.

බුදුපියාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩවාසය කරන කාලයේදී එක දවසක් දා මහ මුගලන් රහතන් වහන්සේ ලක්ඛණ ස්වාමීන් වහන්සේත් එක්ක ගිජ්ජකූට පර්වතයෙන් බසින අතරේ මුගලන් මහරහතන් වහන්සේ දිවැසින් දුටුවා - විසිපස් යොදුනක් විතර දිග පිඹුරෙකුගේ ස්වරූපය ඇති ප්‍රේතයෙක්. අජකර කියලා ප්‍රේතයෙක්. ඒ ප්‍රේතයාගේ හිසින් ගිනි දැල් නැගිලා ශරීරයේ කොන දක්වා යනවා. ඊලගට ශරීරයේ කෙළවරින් ගිනිදැල් නැගිලා හිස දක්වා යනවා. ශරීරයේ දෙපැත්තෙන් ගිනි දැල් පැන නැගිලා මැදින් බසිනවා. මේ විදියේ දර්ශනයක් දුටුව මුගලන් මහරහතන් වහන්සේ මඳ සිනහවක් පහළ කළා. මේ සිනහව දැකලා අර ලක්ඛණ ස්වාමීන් වහන්සේ අහනවා “මොකද සිනහවුනේ ස්වාමීන් වහන්සේ” කියලා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා, “ඒ ප්‍රශ්නයට පිළිතුරු මම දැන් දෙන්නේ නෑ. බුදුපියාණන් වහන්සේ ඉදිරියෙදී ඒ ප්‍රශ්නය අසන්න” යි කියලා.

ඒ වගේම පසු අවස්ථාවක මුගලන් මහ රහතන් වහන්සේත් ලක්ඛණ ස්වාමීන් වහන්සේත් ඇතුළු පිරි සඟ පිරිස ධර්ම සභා මණ්ඩපයේ වැඩ විසින අවස්ථාවක බුදු පියාණන් වහන්සේ ඉදිරියේ ලක්ඛණ ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්නය ඇහුවා මුගලන් මහරහතන් වහන්සේගෙන්, මොකද අර හිනාවුනේ කියලා. මුගලන් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළා - මම මෙන්න මෙහෙම දර්ශනයක් දුටුවා. මේ තරම් විශාල ප්‍රේත ශරීරයක් මේ විදියට ගිනිදැල් යනවා. මෙහෙම දැකලා මම කවදාවත් මේ වගේ නම් සත්වයෙක් දුටුවෙ නෑ, කියලා එකේ අද්භූත ස්වභාවය නිසා මට සිනාවක් පහළ උනා කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා “මහණෙනි මගේ ශ්‍රාවකයින් ඇස් ඇතිව, ඥානය ඇතිව, වාසය කරනවා. මමත් ඔය දර්ශනය දුටුවා බෝධි මූලයේදීම. බුද්ධත්වය ලැබූ අවස්ථාවේදීම මම දුටුවා. නමුත් මම ඒක ප්‍රකාශ කළේ නැත්තේ මේ දර්ශනයේ ආශ්චර්යවත් ස්වභාවය නිසා සාමාන්‍ය ජනයා මේ ගැන විශ්වාස නොකර මා ගැන සැක කරලා පව් පුරවාගනීය කියලා. අකුසල් ඇතිකර ගනියි කියලා. ඒ නිසා ‍ප්‍රකාශ කළේ නෑ. දැන් මේ මුගලන් නම මේ කාරණයට මට සාක්ෂිහැටියට සිටින නිසා මම දැන් මෙය ප්‍රකාශ කරනවා. මේ ගැන ප්‍රකාශ කරනවා” කියලා බුදුපියාණන් වහන්සේ වදාළා.

ඒ අවස්ථාවෙ සංඝයා වහන්සේලා ඇසුවා “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මේ ප්‍රේතයා අතීතයේ කළ පාප කර්මය කුමක්ද?” කියලා. බුදුපියාණන් වහන්සේ ඒ අතීත ප්‍රවෘත්තිය ගෙන හැර දැක්වුවා. කාශ්‍යප බුදුරජාණන්වහන්සෙගෙ කාලයේදී සුමංගල කියලා ඉතාමත් ධනවත් සිටුවරයෙක්, ඒ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට ගන්ධකුටියක් - ඒ කියන්නේ විහාරයක් වැඩ වාසය කරන තැනක් - සකස් කිරීමට රන් ගඩොල් බිම අතුරුවල විශාල ප්‍රදේශයක කුටියක් තැනෙව්වා, විශාල වියදමක් කරලා. ඊළඟට ඒ වාගේම ඒ විහාර පූජාව පිළිබඳවත් විශාල වියදමක් කළා. මේ විදියට අර අපේ බුදු රජාණන් වහන්සේට අනේපිඬු සිටාණන් ජේතවනාරාමය තැනෙව්වා වගේ මේ වගේ විහාරයක් තනවලා එක දවසක් දා මේ සිටානන් බුදුපියාණන් වහන්සේ දැකීමට උදෑසන යන අතරෙ නගරයේ දොරටුව අසළ ශාලාවක නිදාගන්න එක්තරා මිනිහෙක් දැක්කා. ඒ මිනිහා සොරෙක්. ඒ සොරා නිදාගෙන හිටියාට මොකද රෑ තිස්සේ ඇවිදලා මට තවරාගෙන තිබුණා පාවල. ඒක දැකලා මේ සිටාණන් ඒ තමන් සමඟ සිටි අයට කිව්ව “මේ මනුස්සයාලා රෑ තිස්සේ ඇවිදලා මේ දැන් දවල් නිදාගන්න කෙනෙක් වෙන්න ඕන” කියලා. නිකමට වගේ ඒ සිටුවරයා ප්‍රකාශ කළා. මේක ඇහුනා අර හොරාට. හොරා ඒ හිස සිට වසාගෙන සිටියෙ කහ පාට වස්ත්‍රයකින්. කහපාට වස්ත්‍රයකින් හිස වසාගෙනයි නිදාගෙන හිටියේ. ඒ වස්ත්‍රය ඉවත් කරලා බලල අර සිටාණන් ඇඳිනගෙන “හොඳයි මම නුඹට කරන දේ දන්නවා” කියලා තද වෛරයක් ක්‍රෝධයක් ඇතිකරගත්තා.

ඊළඟට ඒ වචනයට පළිගැනීම් වශයෙන් මේ හොරා මොකද කළේ? අර සිටාණන්ගේ පැසුනු කෙත සත්වරක්ම ගිනි තැබුවා. ඒ වගේම ඒ සිටාණන්ගෙ ගවගාලේ සිටින ගොනුන්ගේ පා කැපුවා. ඊළඟට ඒ වගේම සිටාණන්ගෙ මැදුරට හත්වරක් ගිනි තැබුවා. එහෙම කරලත් අර කෝපය නිවා ගන්න බැරුව මේ මනුස්සයා ඊළඟට සිටාණන්ගෙ අත්වැසියෙක් එක්ක යාළුවෙලා අහනවා මේ සිටාණන්ට ඉතාමත්ම ප්‍රිය මොකක්ද කියලා. ඒ මෙහෙකරුවා කිව්වා, සිටාණන් අර බුදු පියාණන් වහන්සේට තැනූ විහාරය - ගන්ධකුටිය - තරම් ප්‍රිය කරන දෙයක් නැත කියලා. එතකොටමේ සොරා සිතාගත්තා “හොඳයි, මම බුදුරජාණන් වහන්සේගේ ගඳ කිළියට ගිනි තියලා මගේ කෝපය නිවා ගන්නවා” කියලා. බුදුපියාණන් වහන්සේ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ - පිඬුසිඟා වැඩිය අතරේ ඒ කුටිය අසල තිබුණු පැන් භාජන ඔක්කොම බිඳලා දමලා කුටියට ගිනි තැබුවා. සිටාණන්ට අසන්නට ලැබුණා කුටිය ගිනි ගන්නවා කියලා. සිටාණන් එතනට එතකොට කුටිය ගිනි අරගෙන ඉවරයි. සිටාණන් ඒ ගැන කිසිම දොම්නසක් කණගාටුවක් ඇතිකර ගත්තේ නෑ. ඒ වෙනුවට බොහොම සද්දෙන් අත්පොළසන් ගැහුවා. ළඟසිටි අය ඇහුවා “ඇයි ස්වාමීනි, තමන් මේ තරම් විශාල වියදමක් කරලා තැනූ කුටිය ගිනිගත්තහම මේ වගේ අත්පොළසන් ගහන්නෙ” කියලා. එතකොට සිටාණන් ප්‍රකාශ කරනවා “මම මගේ ධනය නිදාන කලේ ගින්නෙන් සොර සතුරන්ගෙන්, ජලයෙන්, එහෙම විනාශවෙන්නෙ නැති විදියේ තැනක. ඒ කියන්නේ බුද්ධ ශාසනයක. ඒක නැති වුනේ නෑ. දැන් මට තවත් අවස්ථාවක් ලැබිල තියෙනවා, ඒ වගේම ඒ ප්‍රමාණයේම ධනයක් අර වගේ නිධන් කරන්න - පුන්‍ය නිධානයක් කරන්න. අන්න ඒ නිසා, ඒ සතුට නිසා, මම අත්පොළසන් ගැසුවා”කියලා.

එහෙම ප්‍රකාශ කරලා, ඒ කිව්ව වගේම අර සිටාණන් නැවතත් අර වගේම විශාල වියදමක් කරලා, රන් ගඩොල් එහෙම අතුරලා, බුදු පියාණන් වහන්සේට, ඒ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට, විහාරයක් තැනෙව්වා. එහෙම තනවලා ඒ වගේම විශාල වියදමක් කරලා විහාරය පූජා කිරිමේ උත්සවය වශයෙන් හත් දිනක්ම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇතුළු විසි දහසක් සංඝයා වහන්සේලාට දානය පිළිගැන්වූවා. මේ අතරේ මේ සොරා කල්පනා කරනවා “මම මෙච්චර කරලත් මේ සිටාණන් පසුබස්වන්න පුළුවන් උනේ නෑ. දැන් ඉතින් වෙන කරන්නට දෙයක් නෑ. මේ සිටාණන් මරන්නම ඕන” කියලා ඉනේ පිහියක් සඟවාගෙන අර විහාරයේ ගැවසුනා, හත් දින තුළම සිටාණන් මරන්නට හිතාගෙන. නමුත් අවස්ථාවක් ලැබුනේ නෑ ඊට. ඊළඟට හත්වෙනි දවසේ මේ සිටාණන් බුදු පියාණන් වහන්සේ ඇතුළු ඒ සංඝයා වහන්සේලාට දානය පූජා කරලා අනුමෝදනාවට ආරාධනා කරන අවස්ථාවේදී ප්‍රකාශ කරනවා - “භාග්‍යවතුන් වහන්ස, යම් කිසි මනුෂ්‍යයෙක් මා කෙරෙහි ද්වේෂයෙන් ඇතිකරගෙන මේ විදියට මගේ කුඹුර - මගේ කේත - සත් වරක් ගිනි තැබුවා. ඒ වගේම සත්වරක් ගව ගාලේ ගවයින්ගේ පා කැපුවා. සත් වරක්ම මගේ ගෙට ගිනි තැබුවා. මා හිතන්නේ මේ බුදු පියාණන් වහන්සේගේ ගඳ කිළියට ගිනි තැබුවෙත් මේ මනුෂ්‍යයා වෙන්ට ඇතැයි කියලා. නමුත් මම මේ මනුෂ්‍යයාට මේ පින් කමේ පළමුවෙනි පින් කොටස දෙනවා” කියලා ඒ විදියට සිටාණන් ප්‍රකාශ කළා.

මේක අහලා අර හොරාට ලොකු සංවේගයක් ඇති උනා. “අපොයි, මේ වගේ කෙනෙකුට නේද මම, මේ වගේ සමාව දෙන, මේ වගේ පුදුම කෙනෙකුට නේද මම මෙහෙම විපත්තියක් කළේ? දැන් මම සමාව ඉල්ලුවේ නැත්නම් මගේ හිස මත හෙණයක් උනත් වැටෙන්නට පුළුවන්” කියලා විගහට දුවලා ගිහිල්ලා සිටාණන්ගේ පා ළඟ වැද වැටිලා “මට සමාවෙන්න ස්වාමීනි” කියලා කිව්වා. එතකොට සිටාණන් ඇහුවා “ඇයි මොකද මේ?” කියලා. එතකොට හොරා කිව්වා “මම ඔබට කුමකට මේ වගේ විනාශ කීයයක් කළා. හානි කීපයක් කළා” කියලා. සිටාණන්ගෙන් ඒ කාරණා අහලා ඊළඟට ඇහුවා “මොකද මේ තරම් දෙයක් කරන්න හේතුව? මම කවදාවත් ඔබ දැකලා නෑ. ඇයි මෙහෙම මා කෙරෙහි ඇතිකරගත්තේ” කියලා. සොරා එතකොට මතක් කරලා දුන්නා, අර අහවල් දවසේ අර ශාලාවේ මම නිදාගන්න අතරේ මෙන්න මෙහෙම වචනයක් කිව්වා. මට ඒකට තද කෝපයක් ඇති උනා කියලා. ඒ අවස්ථාවේ අර සිටාණන් සොරාගෙන් සමාව ඉල්ලුවා. “සමාවෙන්න, මම එහෙම එකක් කීම ගැන” කියලා. හොරාට වඩාත් සංවේගය ඇති උනා. ඊළඟට එතකොට සොරා කියනවා “ස්වාමීනි, මට සමාව අනුව නම් අඹුදරුවන් සහිතව දාසකමට ගන්න” කියලා. එතකොට සිටාණන් කියනවා “මම අර සුළු වචනයක් කීමෙන් අර තරම් ඔබ හානියක් කළා. දැන් ගෙදර නැවත්ත ගත්තොත් මම කොහොමද කථාකරන්නේ, ඔබ සමඟ? මට ඒ දාසකමෙන් අවශ්‍යතාවක් නෑ. දැන් මම සමාව දුන්නා. ඔබ නැගිටලා යන්න” කියලා.

එතකොට ඒ විදියට, මහා පුදුම විදියට අර හොරාට සිටාණන්ගෙන් සමාව ලැබුණා. සිටාණන්ගෙන් සමාව ලැබුණට කර්මයෙන් සමාව ලැබුණේ නෑ. ඒක නිසා බුදුපියාණන් වහන්සේ - අපේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා - “ඒ සොරා මරණින් මතු, මරණින් පස්සේ, අවීචි නිරයෙහි ඉපදිලා ඉතාම දීර්ඝ කාලයක් දැවෙමින් පැසෙමින් ඉඳලා, දැන් ඒ කර්මවල ඉතිරි කොටස වශයෙන් තමයි අර විදියේ ප්‍රේතරූපයේ ස්වරූපය ඇති ප්‍රේතයෙක් වෙලා ඉපදිලා ගිනිදැල් වලින් දැවෙන්නෙ” කියලා, එහෙම ඒ කාරණය ප්‍රකාශ කරලා අන්න ඊළඟට බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ඔන්න ඔහොම තමයි ඒ මෝඩයින්, මෝඩ මනුෂ්‍යයින්, අඥානයින්, බාලයින්, පාපකම් කරලා ඒවායේ විපාක වශයෙන් හරියට අවබෝධයක් ලැව් ගිනි වලින් දැවෙන්න වගේ දැවෙනවා යැයි කියලා ප්‍රකාශ කරමින් අර අපි කලින් සඳහන් කළ ගාථාව වදාළා.

“අථ පාපානි කම්මානි - කරං බාලො න බුජ්ඣති
සෙහි කම්මෙහි දුම්මේධො - අග්ගිදඩ්ඪොව තප්පති”

බාලයා-බාලයා කියලා කියන්නේ ධර්මයෙහි අර අපි කලින් කිව්වා වගේ, කුඩා දරුවා කියන අර්ථයෙන් නොවෙයි බාලයාගේ ස්වරූපය දක්වලා තියෙන්නේ

“දුච්චින්තිතචින්තී, දුබ්භාසිතභාසී, දුක්කකතකම්මකාරී”

කියලා චේතනාව බොහොම නරකයි. ඒ වගේම වචනත් නරකයි, ක්‍රියාවත් නරකයි. අන්න එබඳු පුද්ගලයාටයි බාලයා කියලා කියන්නේ. එතකොට එබඳු ඒ බාලයා පාපකම් කරමින් අර විපාක පක්ෂය දන්නේ නෑ. ඒ විපාකවල බැරෑරුම්කම දන්නේ නෑ. එහෙම ඒ විදියට පාපකම් කරමින් තමාගේම කර්මවලින් ගින්නෙන් දැවෙනවා වගේ තැවීමට පත්වෙනවා කියන අදහස දක්වමින් ඒ ගාථාව වදාළා. ඒක අහලා බොහෝ දෙනෙක් මාර්ගඵල අවබෝධ කළා කියලා ප්‍රකාශ වෙනවා.

එතකොට මෙන්න මේ කථාන්තරය ආශ්‍රයෙන් අපට මේ කථාන්තරයේ පැති දෙකක්ම තිබෙනවා ආදර්ශයට ගත හැකි දේවල් හැටියට ගන්න, සළකන්න. දැන් මේ කථාවේ අර සොරාගේ ක්‍රියා කලාපය ගැන හිතලා බලනකොට කෙනෙකුට පුදුම සිතෙනවා. ක්‍රෝධයෙන් ද්වේෂයෙන් මේ තරම් දුර යන්නට පුළුවන්ද කියලා. අර තරමට තරහ ගත යුතු වචනයක් නොවුනත්, සාමාන්‍යයෙන් සිටාණන් කිව්වා වචනය අහලා අර තරම් ද්වේෂයක් ඇතිකරගෙන ඊළඟට මේ සොරා ඒ ද්වේෂ නිවා ගන්න ගිනි තිව්වා. ගින්නෙන් ගින්න නිවාගන්න උත්සාහ කරන්නා වගේ, ඒ සිටාණන්ගේ කෙතට ගිනි තිව්වා. ගෙටත් ගිනි තිව්වා. බුදු පියාණන් වහන්සේගේ ඒ ගන්ධ කුටියටත් ගිනි තිව්වා. ඒ විදියටයි ද්වේෂය නිවාගන්න ලෝකයා උත්සාහ කරන්නේ. එබඳු නිදර්ශන මේ කාලයෙත් බොහොම තියෙනවා. ගින්න නිවා ගන්න ගිනි තියනවා. ඉතින් ඒ විදියට ගිනි තියලා අන්තිමට එහි විපාකයත් ඒ වගේමයි.

බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා, බොහෝවිට කර්මවල විපාකයෙත් කර්මයේ ස්වරූපයම තිබෙනවා කියලා. මේ කර්ම නියාමතාව ලෝකයේ බලපවත්වන ධර්මතාවක්. බුදු පියාණන් වහන්සේ බොහෝ විට ඒකට නිදර්ශන වශයෙන් දක්වන්නේ බීජ නියාමයයි.

“යාදිසං වපතේ බීජං - තාදිසං හරතේ ඵලං
කලාණකාරී කලාණං - පාපකාරී ච පාපකං” කියලා.

බුදු පියාණන් වහන්සෙ වදාරල තිබෙනවා, යම් ආකාරයකින් බීජයක් වපුරනවද ඒ ආකාරයෙන්මයි එහි ඵලය ලබා ගන්නේ. ඊළඟට ඒක අනුව කර්මය පිළිබඳව විග්‍රහය දක්වන්නේ “කළයාණකාරී කළයාණං” - හොඳ කර්මයක් කරනු කෙනාට හොඳ විපාකයක්, සැප විපාකයක් ලැබෙනවා. “පාපකාරී ච පාපකං” - පාප කර්මයක් කළොත් එයින් නරක විපාක ලැබෙනවා. හැරියට දැන් අඹ ඇටයක් එහෙම නැත්නම් මිදි ආදී බීජයක් එහෙම පල කළහම, එයින් මිහිරි ඵලයක් ලැබෙනවා. කොහොඹ, කරවිල වැනි දේවල්වලින් අමිහිරි ඵලයක් ලැබෙනවා. ඔය විදියට ධර්මතාවක් තිබෙනවා. එතකොට ඒ වගේම අර ගින්නෙන් දැවීම, ගින්න දුන්න අනිත් අයට, තමන්ටම ගින්න ලැබුණා. ඔය විදියට බරපතල විපාක විඳින්නට සිද්ධ වෙනවා. මේ විදියේ නිදර්ශන කොතෙකුත් ධර්මයේ තිබෙනවා.

දැන් මේ ගිජිකුළු පර්වතයෙන් බහින අතරෙ මුගලන් මහරහතන් වහන්සේ දුටු එක දර්ශනයක්. ඒ වගේ දර්ශන ගණනාවක්ම සඳහන් වෙනවා. දැන් ඔන්න එක තැනක දක්වලා තිබෙනවා, මුගලන් මහරහතන් වහන්සේ ගිජිකුළු පව්වෙන් බහින අතරෙ දුටුවා අහසින් යනවා ඇට සැකිල්ලක්. ඇට සැකිල්ල පියාඹනවා. ඇට සැකිල්ලක ස්වරූපය ඇති ප්‍රේතයෙක්. ඒ පියාඹන අතරේ උකුස්සන්, කවුඩන්, ගිජුලිහිණියන් අර ඇට සැකිල්ලේ ඉර ඇට අතරට අනිනවා. මේ ඇට සැකිල්ල විලාප තියමින් පියාඹිනවා. මේකට හේතුව බුදුපියාණන් වහන්සේ දැක්වූයේ ඒ ප්‍රේතයා මේ රජගහනුවරම ගව ඝාතකයෙක්. ගවයන් මැරුව පුද්ගලයෙක්. ඔය විදියට තවත් දක්වනවා - තවත් ප්‍රේත ශරීරයක් යනවා. අහසින් යනවා. ඒ ශරීරයේ තිබෙනවා, හරියට කඩු වගේ තියුණු ලොම්. ඒ පියාඹන අතරෙම අර කඩු වැනි තියුණු නම් උඩ පැන පැන ශරීරයටම වැටිලා ශරීරය සිදුරු කරනවා. ඒ අතරේ අර ප්‍රේතයා විලාප තියනවා. කෑ ගහනවා. ඔන්න ඔය විදියෙ පුදුම අන්දමේ දර්ශන රාශියක් දක්වනවා ඒ ප්‍රේත ආත්ම පිළිබඳව. ඒ ප්‍රේත ලෝකයෙහි. ඊටත් වඩා භයානකයි අර අවීචිය ආදී නිරය වල තියෙන දුක්. ඒවා කොයිතරම්ද කීවොත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒවට දෙන්න උපමාවක් නැත කියලා. බුදු මුවකින්වත් ප්‍රකාශ කරන්න බැරි තරම් මහා භයානක දුක් සාගරයක් නිරය කියලා කියන්නේ. නිරය ප්‍රේත ලෝකය,ඊළඟට තිරිසන් ලෝකය - අපිට පෙනෙන තිරිසන් ලෝකය. ඒක පිළිබඳවත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, ඒවා කියලා නිම කරන්නට බෑ, තිරිසන් ලෝකයේ තිබෙන දුක්. ඊළඟට එපමණක් නොවෙයි, මේ මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලත් ඒ කර්ම විපාක විඳිනවා. නමුත් කාරණය දන්නේ නෑ, ඒ අතීතයේ කළ කර්ම බව. ඒවා නොදැන තව තවත් පාපකම් කරනවා. ඔය තරම් භයානක තත්ත්වයක් තියෙන්නේ ලෝකයේ, මේ කර්ම පිළිබඳව. එතකොට ඒ කර්ම විපාක ගැන කල්පනා කරලා බලනකොට, මේ අපේ ජීවිත හැඩ ගස්සවා ගැනීමට මෙන්න මේවායින් ආදර්ශ ගන්න ඕන - මෙබඳු ප්‍රවෘත්තිවලින්. සාමාන්‍ය කථා හැටියට පමණක් නොවෙයි. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මේ කර්ම කියන ධර්මතාව නියම ආකාරයෙන්ම. අනිකුත් ශාස්තෘවරුන්ට යම් යම් ප්‍රමාණයකට පෙනුනා ඒ කාලයේ හිටපු. නමුත් බුදු පියාණන් වහන්සේට ඒ පිළිබඳව ඉතාමත්ම ගැඹුරෙන් වැටහුනා, කර්මයත් කර්ම විපාකයත්. වෙන එකක් තබා මේ කර්මය බලපවත්වන මේ සංසාරයෙන් මිදෙන මාර්ගය පවා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා. බුදු පියාණන් වහන්සේ භාවනා කර්මස්ථානයක් හැටියට දක්වලා තියෙනවා එක්තරා පාඨයක්.

“කම්මස්සකෝමහි කම්ම දායාදෝ කම්මයෝනි කම්මබන්ධු කම්මපටිසරණෝ
යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි”

කියලා බුදු පියාණන් වහන්සේ එක්තරා භාවනා කර්මස්ථානයක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා, මේ කර්මය පිළිබඳ ධර්මතාවනිතර මෙනෙහි කරන්නෙයි කියලා. “අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං” - නිතර ප්‍රත්‍යවේක්ෂා කරන්න, නිතර මෙනෙහි කරන්න කියලා ඒක - භාවනා කර්මස්ථානයක් හැටියට. එහි අදහස “මම - කර්මය මා සතුව සිටින්නෙක්මි. කර්මය මගේ දෙයක්.” “කම්මස්සකෝම්හි - කම්මදායාදෝ” කර්මය මගේ දායාදයයි. කර්මය මගේ උත්පත්ති ස්ථානයයි. කර්මය මගේ බන්ධුවරයායි. කර්මය මගේ පිළිසරණයි. මට සිටින වශයෙන් සිටින්නෙත් කර්මයයි. හොඳ හෝ නරක හෝ යම් කර්මයක් කරමිද එහි දායාද කරුවෙක් වෙමි.” මේක කිව්වහම හිතෙන්න පුළුවන්, මේ කර්ම දායාදය කියලා කියන කොට, කර්මය මගේ කියලා කියන කොට, මට ඕන හැටියකට කරන්න පුළුවන් කියලා. නමුත් මේ තුළම තියෙනවා මහා භයානක සංවේග ජනක කාරණයක්. මොකද තමන්ට ඕන ක්‍රියාකිරීම නෙවෙයි මෙතන කියන්නේ. කර්මයේ තියෙනවා පැති දෙකක්, හොඳයි නරකයි කියලා. මේ හොඳ පැත්තට වැඩිය සංසාරයේ සත්ත්වයා පෙළඹෙන්නේ අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා, නරක පැත්තට. එක නිසා මහා භයානක වගකීමක්, බලගතු වගකීමක් මේ කර්මය පිළිබඳව තියෙන්නේ. කර්මය මගේ කියලා කියන්නේ, කර්මය මගේ දායාදය කියලා කියන්නේ, මෙයින් නරක පැත්තයි අපි වැඩියෙන් හිතන්න තියෙන්නේ. කොයි තරම් සැප විපාක මේවායින් - පින් කරලා ලබාගන්න පුළුවන් උනත් ඊට වඩා භයානක අන්දමින් සත්වයා පාපයට නැඹුරු වන නිසා සංසාරයේ වැඩිපුර රැස්වෙන්නේ පාප කර්මයි. ඔය විදියේ තත්ත්වයක් තියෙන නිසා තමයි බුදු පියාණන් වහන්සේ කර්මය පිළිබඳව මේ විදියට නිතර මෙනෙහි කිරීම තුළින් කෙනෙකුට මූලික මහත් සංසාරය ගැන කළකිරීම පවා ඇතිකරගන්න පුළුවන් කියන්නේ. මේක මහා භයානක වගකීමක්, කර්මය මගේ කියලා කියන්නේ. මට ඕන හැටියට කරන්න බෑ. අර ධර්මතාවට යටයි, ලෝකයේ බලපවත්වන ධර්මතාවට යටයි.

ඊළඟට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ කර්මය පිළිබඳව වඩාත් ගැඹුරින් - “චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි. චෙතයිත්වා කම්මංකරෝති කායෙන වාචාය මනසා” කියලා. මේ කර්මය කියන එක හඳුනාගන්නෙ කොහොමද? යමෙක් කර්මයකට හසුවන්නේ කොහොමද කියන එක කෙනෙකුට ප්‍රශ්නයක් වන්න පුළුවන්. කර්මය කියලා සාමාන්‍යයෙන් යොදනවා ක්‍රියාවටත්. නිකම්ම කෙරෙන වැඩවලටත් කර්මය කියලා සමහරු කියනවා. නමුත් මේ බුද්ධ ශාසනයේ කර්මය කියලා වචනය යොදලා කියෙන්නේ අන්න චේතනාවටයි. “චේතනාවටම මම කර්මය යැයි කියමි” බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙනම් කර්මයට අසුවෙන්නේ මේ චේතනාව අනුවයි. “චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි” මහණෙනි, මම චේතනාවට කර්මය යැයි කියමි. මොකද ඒකට හේතුව “චෙතයිත්වා කම්මං කරෝති කායෙන වාචාය මනසා” - චේතනාවක් ඇති කරගෙන තමයි කෙනෙක් කයෙන්, වචනයෙන්, සිතින් මේ කර්ම සිදුකරන්නේ, කර්ම රැස්කරන්නේ. එහෙම නැතිව ඉබේ සිදුවන ක්‍රියාවලට වගකීමක් නෑ. මේ වගකීමත් - තමන් වගකීම ගැනීම නිසා. මෙතන තියෙන්නේ මහ පුදුම විදියෙ තත්වයක්. කර්මයට වගකීම ගන්නවා.කොහොමද වගකීම ගන්නේ? අර අවිද්‍යාවෙන් ‘මමය’ ‘මගේය’ කියන හැඟීම උඩ. ඒක නිසා තමයි ධර්මය ගැඹුරින් සලකලා බලනකොට අවිද්‍යාව නිසා මේ හැම එකක්ම කරන්නේ. අවිද්‍යාව කියලා කියන්නේ ‘මමය’ ‘මගේය’ කියන එක. මමත්වය, ආත්මාර්ථකාමීත්වය. මමය මගේය. මා එක්ක තරහ නිසා මම මරණවා. මට කන්න ඕන නිසා සතුන් මරණවා. මට වස්තු නැති නිසා මම මම අනිත් එක්කෙනාගේ ඒවා සොරකම් කරගන්නවා. මට විනෝදෙට අනිත් දේවල් කරනවා. ඔය විදියට මමත්වය මුල් කරගෙන සත්ත්වයා මේ පාපකම් වලට පෙළඹෙනවා. එක නිසා අවිද්‍යාව නිසා තමයි අර සංස්කාර තියෙන්නේ. මේ අවිද්‍යාව නිසා සංස්කාර රැස්වෙනවා. මේ සංස්කාරවලම කොටසක් කමයි කර්මය කියලා කියන්නේ. පුඤ්ඤාභිසංස්කාර, අපුඤ්ඤාභිසංස්කාර, ආනේඤ්ජාභිසංස්කාර කියලා, මේ සංස්කාර කියලා කියෙන්නේ කර්මයමයි. ගැඹුරින් කල්පනා කරලා බලනකොට කර්මයේම ඉතාමත් සියුම් අංශයක්.

ඒ විදියට මේ අවිද්‍යාව නිසයි රැස්වෙන්නේ කර්මයත්. තමන් ඒකට වගකියන නිසා - කර්මයට වගකියනවා නම් එහි විපාකයටත් වගකියන්නට ඕන. එක නිසා තමයි අකමැති උනත් එවාගේ පාප කර්මවල භයානාක විපාක තමනට ලබාගන්ට සිද්ධ වෙන්නෙ. ඒ විපාක ගැන දැනගෙන එතකොට එබඳු ඒ පාපකර්ම වලින් වැලකී සිටීමයි නුවණැති පුද්ගලයා විසින් කළයුත්තේ. බාලයා කියල අඥාන පුද්ගලයාට යොදනවා. පණ්ඩිතයා කියලා ප්‍රඥාවන්ත පුද්ගලයාට ධර්මයේ යොදනවා. පණ්ඩිත පුද්ගලයා බුදු පියාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන, සම්‍යක් දෘෂ්ටිය ඇතිකරගෙන, හොඳ නරක වටහාගෙන, පව් පින් වටහාගෙන, කුසල් අකුසල් වටහාගෙන, ඒ අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා. එහෙම නැති සාමාන්‍ය පණ්ඩිතයා බුද්ධි වාදයට යට වෙලා ‘මේක වෙන්න පුළුවන්ද?’ කියලා සැක කරමින්, සමහර විට තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් පිරිමහගන්න පාපකම්වලට යොමුවෙනවා. එබඳු පුද්ගලයකුට, ධර්මයේ යෙදෙන්නේ බාලයායි කියලා, මෝඩයයි කියලා, අඥාන පුද්ගලයයි කියලා.

අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේ ඊළඟට දක්වනවා කෙනෙකුට මේ කර්මය තෝරා බේරා ගන්න උපකාර වශයෙන්, මේ කර්මයට තිබෙනවා හේතු. හේතු, නිදාන, කියලා කියනවා. පාප කර්මවලට හේතු වශයෙන් තියෙන්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. අමුතුවෙන් හඳුන්වලා දෙන්න ඕන නෑ මනුෂ්‍යයන්ට, සංසාර සත්වයින්ට. සංසාරගත සත්ත්වයින් තමන්ගේ සන්තානය දිහා හැරලා බලනකොට ලෝභ ද්වේෂ මෝහ තුනෙන් සන්තානය දිහා හැරලා බලනකොට පහසුවෙන් හැඳින ගන්න පුළුවන් ත්‍රිකෝණයක් වගේ කියෙන ක්ලේශ ධර්ම තුනක් තමයි මේ. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. මෝහය සියලා කියෙන්නේ අර අපි කලින් කිව්ව වගේ අවිද්‍යාව. අර මමය මගේය කියන හැඟීම. අනිත් කෙනාට හෙණ ගැහිලා ගියත් මම ජීවත් වෙන්න ඕන, ආත්මාර්ථකාමීත්වය, මමත්වය අන්න ඒ විදියේ මමය මගේය කියන තදබල හැඟීම මේ මෝහය. එක නිසා තමයි මා කැමති දේට - ඒවා පිළිබඳව ලෝභය. මම විරුද්ධ එහෙම නැත්නම් මට අකමැති දේට, ඒවට ද්වේෂයයි. ඔය විදියට නුවණින් කල්පනා කරලා බලනකොට ලෝභයයි ද්වේෂයයි මෝහයයි නිසා තමයි ලෝකයේ ඇතිතාක් පාපකර්ම සිද්ධ වෙන්නේ. ඒ අතරට තව නොයෙකුත් ක්ලේශධර්ම එකතුකර ගන්න පුළුවන්. නමුත් මූලික වශයෙන් ලෝභය, ද්වේෂය, මෝහය. ඊළඟට දක්වනවා කුසල් - අරවා අකුසල්.

එතකොට කුසල් පක්ෂයට ගන්න පුළුවන් මොනවාද? අලෝභ, අදෝස, අමෝහ කියලා දක්වලා තියෙනවා. ඒ අලෝභ, අද්වේෂ, අමෝහ කියලා කියන්නේ ලෝභයෙන් ඉවත්වෙලා, මොහොතකට හරි, එක මොහොතකට හරි, ලෝභයෙන් සිත මුදාගත්තා නම්, එබඳු අවස්ථාව කුසලයක්. ඒක කුසල සිතක්. මොහොතකට හරි ද්වේෂයෙන් සිත ඉවත් කරගත්තා නම් - දැන් අර සිටාණන්ගේ ක්‍රියා කලාපයෙන් අපට පේනවා එතන ඒ සිටාණන් තුළ අද්වේෂ - අදෝස - කුසල් මුල් තිබුණා. අර සොරා තුළ අකුසල් මුල්. ඔන්න ඔය විදියට අපට තියාගන්නට පුළුවන්. මෝහයෙන් මමය මගේය කියන හැඟීමෙන් මොහොතකට හරි ඉවත්වෙලා යම් සිතුවිල්ලක් සිතුවා නම්, යම් වචනයක් ප්‍රකාශ කළා නම්, යම් ක්‍රියාවක් කළා නම්, ඒවා ඒ කුසල පක්ෂයට යන්නේ. ඔය විදියට කල්පනා කරලා බලනකොට බුදු පියාණන් වහන්සේ මේ කර්මය පිළිබඳව ගැඹුරින් විග්‍රහ කරලා අපට ඉදිරිපත් කරල දීලා තියෙනවා. එහි විපාක පක්ෂයත් ඊළඟට ඒක හඳුනාගන්නා ආකාරයක්. ඊළඟට මේවා පිළිබඳව ක්‍රියාත්මක වීමට උපකාරවෙන තවත් විශේෂ කාරණා කීපයක් බුදුපියාණන් වහන්සේ දක්වලා තියෙනවා.

ශීලය කියලා කියන්නේ මොකක්ද? ඒක ගැන හොඳට නුවණින් කල්පනා කරලා බලනකොට මේ ශික්ෂාපද, දැන් විශේෂයෙන්ම ධර්මයේ තියෙන මූලික ශික්ෂාපද පහ තමයි පංචශීලය. මේ පංචශීලය කියන එක හරියට දැන් ඔන්න පාරක යනකොට මේ පින්වතුන්ට දකින්නට ලැබෙනවා මාර්ග සංඥා. සමහර තැන්වල ‘හෙමින් පදවන්න’ කියලා තියෙනවා, ‘වංගු සහිතයි’ ‘පල්ලම් සහිතයි’ ඔය විදියට යම්කිසි හැඟවීමක් කරනවා අර රියැදුරාට. ඒ රියැදුරාට මේ හැඟවීම නැතිනම් මොකද කරන්නේ? අර ඒ වාහනයට යන්නට පුළුවන් වේගයෙන් ගිහිල්ලා මහා භයානක ප්‍රපාත වල වැටෙනවා. අන්න එයාගේ තමයි මේ සංසාර ගමන. මේ සංසාර ගමනෙ යන සත්ත්වයාට මාර්ග සංඥා හැටියට තමයි බුදු පියාණන් වහන්සේ මේ පංචශීලය ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකද, අර පාප කර්ම අතුරිනුත් ඉතාමත්ම බරපතළ කර්ම , පහක් හැටියට දක්වලා තියෙනවා. සංසාරයෙ භයානක විපාක ගෙන දෙන දේවල් තමයි ඔය පංචශීලයට අඩංගු වෙන්නේ. සතුන් මැරීම, හොරකම් කිරීම, කාම මිථ්‍යාචාරය, බොරු කීම, ඊළඟට සුරාමේරය කියන මත්පැන් පානය. මේවා තුළින් සංසාරයේ බලවත් පීඩනයට, දැවීමට, තැවීමට පත්වෙනවා. එක නිසා මේ සංසාර ගමන යන හැම සත්ත්වයින්ටම බුදුපියාණන් වහන්සේ පළමුවෙන්ම මේ පංචශීලය මතක් කරලා දෙනවා.

දැන් අර වාහනයක් එළවාගෙන ගියොත් ඒ මාර්ග සංඥා ගැන නොතකා, මොකද වෙන්නේ? ඉස්සෙල්ලම ඒ වාහනය පාරෙන් පිටතට පනිනවා. ඊළඟට කාණුව පල්ලෙන් ගිහිල්ලා ප්‍රපාතෙට වැටිලා සුනුවිසුනු වෙනවා. අන්න ඒ විදියට ඒ තත්වය අඟවන පද සමූහයක් තමයි නිරය පිළිබඳවත් මේ ධම්යේ සඳහන් වෙන්නේ. ‘අපායං, දුග්ගති, විනිපාතං, නිරයං’ කියලා පද හතරක් දක්වෙනවා ධම්යේ. අපාය කියලා කියන්නේ නියම මාර්ගයෙන් ඉවතට පැනීම. දුග්ගත්තින් කියලා කියන්නේ අර කානුපල්ලෙ යාම වගේ වැරදි මාර්ගයේ යාම. විනිපාත කියලා කියන්නේ ප්‍රපාතයකින් ඇදගෙන වැටීම. නිරය කියලා කියන්නේ පොඩි පට්ටම් වෙලා ගන්න දෙයක් නැති තත්වයට පත්වීම. අන්න එබඳු තත්වයකට පත්වෙනවා අර පාපකර්ම නිසා, පංචශීලය යම් කෙනෙක් රකින්නේ නැත්නම්. මේ ශිලය කියලා කියන්නේ ශික්ෂාපද. මේ ශික්ෂාපද තමාම සමාදන් වෙලා රකින්නේ මොකටද? දිනපතා මේක සිහිපත් කිරීම තුළින් මේ පුද්ගලයා කරන්නේ තමන්ගේ සිතට යම් කිසි අවවාදයක් දෙනවා ‘අද දවසේ මෙන්න මේ පංචශීලය තුළ හැසිරෙන්නට ඕන.’ හරියට අර වාහන රියැදුරා මාර්ග සංඥාව දැක්ක හැටියේ, වේගයෙන් දුවනවා නම් ඒ වාහනය, ඒක ටිකක් අඩු කරනවා. වේගය අඩු කරනවා වංගු සහිත නම්. අන්න ඒ විදියට තමන්ගේ ජීවන රටාව සකස්කර ගැනීමට උපකාර වන, ආධාරවන, කාරණා හැටියටයි මේ පංචශීලය දක්වලා කියෙන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක් මේක මහා කරදරයක් හැටියට හිතනවා. එසේම හිතන අය හැබැයි අර පාරේදි අර තියෙන මාර්ග සංඥා ගැන නම් ඒ විදියේ දෙයක් කියන්නේ නෑ. ඒවා නැත්තම් රජයට දොස් කියනවා. ‘එතෙන්ට දාන්නා තිබුනා මේ පල්ලමක් තියෙනවායි කියලා මාර්ග සංඥාවක්.’ නමුත් මේ සංසාර ගමනෙදි ඒ විදියේ දෙයක් කල්පනා කරන්නේ නැතිව බුදුරජාණන් වහන්සේලාට, ඒ රහතුන් වහන්සේලාට, සංඝයා වහන්සේලාට, දොස් කියනවා, අපට මේවා රකින්නෙයි කියනවායි කියලා. ඒවායින් දැවෙන්න පටන් ගත්තහම, තැවෙන්න පටන් ගත්තහම, ඊළඟට - ඒ අවස්ථාවේදී තමයි අන්න තේරෙන්නේ තමන් කළ මෝඩකම. ඒක නිසා තමයි බාලයා අඥාන පුද්ගලයා කියලා, කියල තියෙන්නේ,

ඒ විදියට ගැඹුරින් කල්පනා කරලා බලන්ට ඕන මේ තමන්ට ලැබෙන සාධක ආශ්‍රයෙන්. ඒ පංචශීලය වගේම ඊළඟට ඊටම අදාළ දේවල් තමයි - දස අකුසල් වලටම අයිති - දැන් මේ ආජීවාෂ්ටමක ශීලයේ විශේෂයෙන් සඳහන් උනා වචනය පිළිබඳ කාරණා. ඒ වචනය පිළිබඳවත් සාමාන්‍යයෙන් බොරුවක් අපි මේ සුළු දෙයක් හැටියට සලකන්නේ. කේලාම් කීමත්, ඒ විදියේ දේවල් සුළු දේවල් හැටියට සළකන්නේ. නමුත් ඒවායෙන් බරපතල විපාක තිබෙනවා. ඒක නිසා තමයි අර බොරුකීම, කේළාම් කීම, පරුෂ වචන කීම, නිෂ්ඵල වචන දෙඩීම, ඒවායින් වැළකෙන්ට බුදුපියාණන් වහන්සේ මේ විදිහට ශික්ෂාපද පණවලා තියෙන්නේ. මේවානිසා තමන්ට ලැබිච්ච කතා කිරීමේ දායාදය - දුර්ලභ දායාදය - මේක පිරිහෙලා ගන්නවා. ඒ වගේම තමයි මිත්‍යා ආජීවය කියලා කියන්නේ. වැරදි ජීවිකා ක්‍රම. මේ කාලයේ කරලියට ඇවිල්ල තිබෙන්නෙමෙබඳු දේවල් ආර්ථිකය ඔස්සේ - මේ ධාර්මිකය අමතක කරන යුගයක් නිසා. නමුත් එබඳු ඒ මිත්‍යා ආජීවයෙන් විපතට පත්වෙලා - දැන් අර ගව ඝාතකයෙක් ගැන කිව්වා - එබඳු තව නොයෙකුත් අය. බුද්ධ කාලයේ පමණක් නොවෙයි එබඳු ඒ ප්‍රේත තත්ත්වයෙන් සිටින්නේ. මේ කාලයේ බොහෝදුරට අභිඥාලාභීන් හිඟ නිසා එබඳු කාරණා ප්‍රකාශ කරන්න කෙනෙක් නෑ. හිටියත්, බුදුරජාණන් වහන්සේ පවා මුගලන් මහ රහතන් වහන්සේගෙන් සාක්ෂි ලැබෙනකං අර කාරණාව ප්‍රකාශ කළේ නෑ. මොකද ප්‍රකාශ කළේ නැත්තේ? “බුදුරජාණන් වහන්සේ මේ බොරු කියනවා අපි රවට්ටන්න. පොඩි දරුවන් රවට්ටන්න වගේ මේ කථාන්තර හදලා කියනවා” කියලා. ඒ විදියට ප්‍රකාශ කරලා ඒ අය අපාය ගාමී වෙයි කියලායි බුදුපියාණන් වහන්සේ ඒ ප්‍රකාශ කළේ නැත්තේ. මුගලන් මහ රහතන් වහන්සේ ඒ කාරණයට සාක්ෂි ස්ථානයේ සිටින වෙලාව එනකල් ඒවා ප්‍රකාශ කළේ නෑ. දැන් මේ කාලයෙත් ඒ වගේ තමයි. මේ කාලෙත් කලාතුරකින් කෙනෙකු මේවා දැක්කත් ඒවා කිව්වත් විශ්වාස කරන්නේ නෑ. නමුත් මේවා විශ්වාස නොකරන මනුෂ්‍යයින්, මේ දහම් පොතේ තියෙන දේවල් මේ පරණ කථාන්තරෙයි කියලා අහක දාන අය, යම් කිසි ආකාරයකින් බටහිර විද්‍යාඥයින් මේවා පිළිබඳ යමක් ප්‍රකාශ කළොත් ඒවා නම් ඉස් මුදුනින් පිළිගන්නා සූදානම්ව සිටිනවා.

ඇත්ත වශයෙන්ම බුද්ධ වචනයට අමුතුවෙන් මුක්කු ගැසීමක් අවශ්‍ය නැතත් මේ කාලයේ නම් බටහිර විද්‍යාඥයින්ට පවා ඇස් ඇරිලා තියෙනවා, මේ කර්මය පිළිබඳව. එබඳු කාරණා නිතරම මේ පිංවතුන්ට අහන්න ලැබෙනවා ඇති, නොයෙකුත් ක්‍රම වලින්. ඇතැම් අයට ජාතිස්මරණඥානය කියලා එකක් ඇතිවෙනවා කුඩා අවධියෙදි. ඔය පුනරුත්පත්ති කථාන්තර කියලා ලෝකයේ ප්‍රසිද්ධ වෙලා යන්නේ එබඳු දේවල්. මොකද, කුඩා අවධියේදී සමහර කුඩා දරුවන්ට මතක්වෙනවා අතීත ජීවිත. බොහෝ විට පසුගිය ජීවිතයේ හිටපු ආකාරය, මැරුණු ආකාරය, එපමණක් නොවෙයි ඒ කළ කර්ම. ඒවා පිළිබඳව මහ පුදුම තොරතුරු. ඒ වගේම තවත් වශීකරණය මගින්, කෙනෙක් වශීකරණයෙන් නින්දට යවලා, ඒ අයගේ අතීත මතකයන් මතුකරලා, ඒ අය අතීතයේ සිටිතැන්, ඒ අය කළ කී දෑ, ඒවා මතුකර ගන්න ක්‍රම බටහිරින් සොයාගෙන තියෙනවා. ඒවා සමහර විට අර පූර්ව දරුවන්ගේ වැඩ වගේ, අර බුදුපියාණන් වහන්සේලා මුගලන් මහ රහතන් වහන්සේලා ගැන සලකලා බලනකොට. නමුත් මෙබඳු දේවල් පවා මේ කාලයේ කෙනෙකුට විශ්වසනීයත්වයෙන් විශ්වාස කරන්ට පුළුවන් බව හිතාගන්න හොඳ සාධක. ඒ වගේම මීට ශත වර්ෂයකට පමණ උඩදී ඒ ඇමරිකාවේ – ඇමරිකාව කියලා කියන කොට ඔය ඒ කාලේ බුද්ධ ධර්මය ගැන උනත් කර්මය, කර්මයේ ධර්මතාව ගැනවත් මොකක්වත් දන්නෙ නැති තරම්. ඒ තරම් අන්ධකාර යුගයක්. නමුත් එබඳු රටක කතෝලික මහත්මයෙක් හිටියා එඩිගා කේසි කියලා. ඒ මහත්මයා එදිනෙදා ජීවිතයේ කර්මය කියන වචනය අහලාවත් නෑ. නමුත් තමන්ම වශිකරණයෙන් වශී නින්දට වැටුනට පස්සේ තමන්ගේ අතීත ජීවිතත් ඒවාට හේතුවුනු කර්මත් තමන් ළහට එන රෝගීන්ගේ ඒ රෝගවලට හේතුවුනු කර්ම විපාකත් කීමට ශක්තියක් පවා ඒ මහතාට ඇතිඋනා. ඒ මහත්මයා ඒ තමන් ලඟට එන රෝගීන් පිළිබඳව ප්‍රකාශ කළ රෝග විස්තර තාමත් වෙනම පුස්තකාලයක තැන්පත් කරලා මහාචාර්ය වරු පවා ඒවා පිළිබඳව නොයෙකුත් විදියේ පර්යේෂණ පවත්වමින් ග්‍රන්ථ ලියනවා. ඒවායින් එකක් දෙකක් නිදර්ශන වශයෙන් සඳහන් කරනවා නම්, එක මනුස්සයෙක් ආවා එක්තරා අන්ධවීමට ආසන්න විදියේ ඇස් රෝගයකින්. ඒ අවස්ථාවේදී එඩිගා කේසි මහත්මයා ප්‍රකාශකළා ඒකට හේතුව. බෙහෙත්වලින් තව නොයෙකුත් සමාජ ශුබසාධක කටයුතු, පින් කටයුතු, වගේ දේවල්වලින් බොහෝදුරට ලෙඩේ සුව කළත් ඊට එහාට සුවකරන්න බැරිය. මොකද ඒකට හේතුව “මීට වර්ෂ දහස් ගණනකට උඩදී එක්තරා නොදියුණු ගෝත්‍රයක ඔබ ඉපදිලා සිටිය. ඔබට තිබුන රක්ෂාව මොකක්ද ඒ ගෝත්‍රිකයන් විසින් යටත් කර ගන්න සතුරන්ගේ ඇස් අන්ධ කිරීමයි. ඒ ඇස් අන්ධ කිරීමේ රාජකාරිය බොහෝ හොඳින් ඉටුකළ නිසා ඔබට මීට එහාට නම් ඇස් හොඳ කරන්ට බැරිය. ඒ අන්ධභාවයෙන් ඔබ මුදා ගන්ට බැරිය” කියලා එඩිගා කේසි මහත්මයා ප්‍රමාණ කළා.

අන්න ඒ අනුව අපට හිතාගන්ට පුළුවන් කර්මවිපාක කියන ඒවා ඒ බුද්ධ කාලයේ පමණක් නොවෙයි, මේ කාලයේ පවා ලෝකයේ පවතිනවා. ඒවා පෙනෙන අය, ඒවා ගැන කරුණු සහේතුකව ඉදිරිපත් කරන්නට පුළුවන් අය, හිඟයි. අන්න එබඳු තත්වයක් තිබෙන්නේ. ඒක නිසා ඊළඟට කල්පනා කරන්නා ඕන මේ කර්මයෙන් මිදෙන්නේ කොහොමද අපි? මේ විදියට මේ අකුසල කර්මවලින් ඉවත්වෙලා, පාප කර්මවලින් ඉවත්වෙලා, හැකිතාක් දුරට ධර්ම මාර්ගයේ යාමට – දැන් බොහෝවිට මේ පාපකර්මවලට කෙනෙක් යොමුවෙන්නේ අර චේතනාව කියන එක බොහොම ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක වෙන නිසයි, චිත්ත සන්තානයෙ. දැන් හැම කෙනෙකුටම පුළුවන් තමන්ගේ චේතනාව පිරිසිදුද අපිරිසිදුද කියන එක හිතාගන්ට, හොඳද නරක කියන එක – කෙනෙකුට චේතනාවක් ඇතිඋනා - ඒක හොඳ එකක්ද නරක එකක්ද කියලා. ඒ නරක එකක් උනත් සමහර කෙනෙක් ඒ නරක චේතනාව නරක බව දැන දැනත් ඒකටම තවදුරත් රුකුල් දෙමින් ඒකටම අනුව ක්‍රියා කරනවා. වචන පාවිච්චි කරනවා. එබඳු පෙළඹීමකට හේතුව මොකක්ද? සිතේ දියුණුව නැති කමයි. අන්න ඒක නිසා තමයි බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ, ශීලයෙන් පමණක් නවතින්නේ නැතුව, අර මාර්ග සංඥා ටික දීමෙන් පමණක් නවතින්නේ නැතිව - බුදු පියාණන් වහන්සේ ඊළඟට දක්වනවා ඊට වඩා ක්‍රමානුකූලවූ, ඊට වඩා ආනිසංස සම්පන්නවූ විශිෂ්ට මාර්ගයක් සංසාරයේ මේ මහා භයානක දුක් ස්වභාවයෙන් මිදෙන්ට. මේ කර්ම නියාමතාවෙන්, කර්ම විපාක වලින්, එහෙම පිටින්ම කර්මයෙන්, මිදෙන්ට පුළුවන් ශක්තියක් බුදු පියාණන් වහන්සේ මතුකරලා දෙනවා සත්ත්වයින්ට. ඒකට උපකාර වෙන්නෙ සමාධියයි ප්‍රඥාවයි. ශීලයෙන් සිත සකස් කරගෙන ඊළඟට සමාධි වශයෙන් සිත තැන්පත් කර ගන්නවා. සිත එක අරමුණක තබාගන්ට පුළුවන් ශක්තියක් ඇතිකර ගන්නවා. එබඳු පුද්ගලයෙකුට අන්න අර කලින් කියාපු තැනැත්තාට වඩා, අර චේතනාව නරක පැත්තට යනකොට වහාම ඒක නවත්ත ගන්න පුළුවන් ශක්තියක් එනවා සමාධිය නිසා. ඊටත් වඩා ගැඹුරින් මේ කර්මවේගවලින් මිදෙන්න පුළුවන් ශක්තියක් ඇතිවෙන්නේ ප්‍රඥාවෙනුයි. ප්‍රත්‍යක්ෂ වශයෙන්ම ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන මමය මගේය කියලා ගන්නා දෙයක් නෑ. මෙතන තියෙන්නේ අනාත්ම තත්ත්වයයි. මේ සංසාරයෙ මහත් පැවැත්මම දුකක් ඒකට හේතුව තෘෂ්ණාවයි. මේ තෘෂ්ණාව නැති කළ තැන නිවනයි. මේකට උපකාර වන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයි කියලා මේ චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධයයි. ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ.

අන්න ඒ ප්‍රඥාව යම් කෙනෙක් ඇති කරගත්තා නම් ලෝකෝත්තර වශයෙන්, ඒ පුද්ගලයා පළමුවෙනි තත්වයෙන්, සෝවාන් තත්වයෙන්, චතුරාර්ය සත්‍යය අවබෝධ කළා නම් - ඒ තැනැත්තාගේ චේතනාවේ පිළිබඳ විශේෂ වෙනසක් සිදුවෙනවා. ඒ ඒ වෙනස කොයිතරම්ද කියතොත් ඒ තැනැත්තාගෙන් කෙරෙන්නේ නෑ අපායගාමී අකුසල්. දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට එක සුළු මොහොතක ඇතිවන බරපතල පාපී සිතුවිල්ලක් නිසා අපායට යන්නඋනත් පුළුවන්. ඒ තරම් භයානක විදියයි සිතේ ප්‍රවෘත්තිය මේ සිත කොයි තරම් වේගයෙන් ශීඝ්‍රයෙන් ගමන් කරනවාද කියතොත් ලෝකයේ කිසිම වාහනයකට, කිසිම යන්ත්‍රයකට, සමාන කරන්නට බැරි තරම් වේගයකින් මේ සිත ක්‍රියා කරනවා. එබඳු ඒ වේගයකින් ක්‍රියා කරන සිත එක මොහොතකට හරි නරක පැත්තකට යොමු උනොත් – බුදු කෙනෙකුට පිළිබඳව, රහතන් වහන්සේ කෙනෙකුට පිළිබඳව, යම්කිසි වැරදි සිතුවිල්ලක්, වැරදි වචනයක්, වැරදි ක්‍රියාවක්, කෙරුනොත් ඒක ඇති කල්ප ගණනක් නිරයේ පැහෙන්ට. අර ඉතාමත් වේගයෙන් යන වාහනයක් දැකලා බොහෝම දෙනෙක් බොහොම සතුටු වෙනවා. නමුත් ඒකේ රියැදුරාට කියෙන්නේ මහා විශාල වගකීමක්. ඒ වාහනය ඕන හැටියට නවත්ත ගන්නට පුළුවන් ඒ යන්ත්‍ර සූත්‍ර හරියට නැත්නම්,නොයෙකුත් අඩු පාඩුකම් තියෙනවා නම්, වේගයෙන් යන අතරේ මහා භයානක අනතුරු ජීවිතවලට පත්වෙනවා. අන්න ඒ වගේ මේ සිත පිළිබඳවත් බුදුපියාණන් වහන්සේ දක්වනවා අර සීඝ්‍රගාමී ස්වභාවය නිසාම සමහර විට නරකට යොමුවුනොත් එහි බරපතළ විපාක විඳින්ට සිද්ධ වෙන බව. නමුත් අර සෝවාන් පුද්ගලයා සිත නතර කරගත්තා තරමක් දුරට.ඒ සිත නතර කරගත්තු ශක්තිය නිසා, අර සත්‍ය අවබෝධය - ප්‍රඥාව - නිසා, සෝවාන් පුද්ගලයා මුළු මහත් සංසාර පැවැත්ම ජාති හතකට පමණක් සීමා කරලා ඉන් මිදෙනවා. කියන්නේ තව හත්වරයි උපදින්නේ. එපමණක් නොවෙයි ඊළඟට ඒ සිතේ ඇතිවන වෙනස කොයි තරමිද කියතොත් – අර සක්කායදිට්ඨි කියලා කියන ආත්ම සංඥාව, ආත්මයක් තිබෙනවාය කියන හැඟීම, ඒ වැරදි සිතුවිල්ල, ඒ තැනැත්තා තුළින් ඉවත් වෙනවා. ඒ සෝවාන් පුද්ගලයා, සෝවාන් තත්ත්වය ලබා ගත්තු පුද්ගලයා, සංසාරයේ තවදුරටත් හත් වරක් පමණක් ඉපදීමෙන් ලබන සහනය පමණක් නොවෙයි ඒ තැනැත්තාට අපාය ගාමී පාප කර්ම කරන්න බෑ. මොකද හේතුව? අර සිතේ ඇතිවන වෙනසයි. සිත නවත්වා ගැනීමේ ඒ ශක්තිය තුළින්, ඒ වගේම අර ප්‍රඥාව තුළින්, ඒ තැනැත්තා කරන කර්මවල බැඳීම අඩු වෙනවා. ඒ කර්ම පිළිබඳව ඇති වගකීම අඩුවෙනවා. අප කලින් කිව්වා කර්මයක් කරන්න ගන්න වගකීම- කර්මයට ගන්න වගකීම - අනුවමයි එහි විපාක විඳින්න වගකීම ගන්න වෙන්නේ. එතකොට අර දැඩිව මමය මගේය කියලා ගත්තු ඒ දෘෂ්ටිය නිසා යම් කෙනෙකුට දීර්ඝ කාලයක් අපාය ආදී තැන්වල විපාක විඳින්නට සිද්ධ වෙනවද, අන්න ඒ තත්ත්වය අඩු වෙනවා අර සෝවාන් පුද්ගලයාට අර අවබෝධය නිසා.

ඊළඟට ඒ වගේම තමයි සකදාගාමී අනාගාමී වෙනකොට, සකදාගාමී පුද්ගලයා තව එක වරයි මේ ලෝකෙට එන්නේ. අනාගාමී පුද්ගලයා නැවතත් මෙලොවට එන්නේ නෑ. බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා එහිදීම පිරිනිවන් පානවා. රහතන් වහන්සේට මෙයින් පස්සේ නැවතත් උත්පත්තියක් නෑ. නමුත් අර කර්මයේ බලපෑම කොයිතරම්ද කියතොත් දිට්ඨධම්ම වේදනීය වශයෙන් මෙලොවදී යම් කිසි විපාකයක් විඳින්නට සිද්ධ වෙනවා. අතීත කර්මවලින් හෝ මේ කාලයේ මේ ජීවිතයේදී කරන ලද යම් යම් කර්ම වලින් හෝ අන්න ඒ දිට්ඨධම්ම වේදනීය කියලා කියන මෙලොවදීම පමණක් විඳින්ට වන විපාක විඳින්නට සිද්ධ වෙනවා. එයින් අපට පේනවා එක පැත්තකින් කර්මය කොයි තරම් බලගතු දෙයක්ද කියලා. බුදු රහතන් වහන්සේලාටත් ඒවායේ විපාක විඳින්ට සිද්ධ උනා, අතීත කර්මවල විපාක හැටියට. කොතෙකුත් අහලා ඇති මුගලන් මහ රහතන් වහන්සේ, ඒ තරම් ඍද්ධිමත් ස්වාමීන් වහන්සේ කෙනෙක්, නමුත් අර හොරු පන්සියයක් විසින් මේ ස්වාමීන් වහන්සේගේ ඇට කුඩු කරලා අවසානයේ පිරිනිවන් පාන්ට සිද්ධ උනා. මොකද ඉතාමත්ම ඇත අතීතයේ මව් පියන්ට ඒ වගේම වධ හිංසා කරලා මරලා කියෙන නිසා. අන්න ඒ අනුව හිතා ගන්ට පුළුවන් මේ කර්මයේ භයානක කම එක පැත්තකින්. අනික් අතට හිතාගන්ට තිබෙන්නේ ඒ කර්මයෙන් මිදීමට බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ පුදුම මාර්ගයයි. මේ ලෝකයේ තිබෙනවා චක්‍ර දෙකක්, කර්ම චක්‍රයයි ධර්ම චක්‍රයයි කියලා. මේ කර්මචක්‍රය තමයි ලෝකයේ ඉතාමත්ම භයානක අන්දමින් ක්‍රියාත්මක වෙන්නෙ. ඒකට අහුවෙන කිසිම සත්ත්වයෙකුට බේරීමක් නෑ. ඒ කර්ම නීතියෙන්. යම් යම් ආකාරයකට කර්ම කරනවාද ඒ විදියටම භයානක අන්දමට විපාක විඳින්නට සිද්ධ වෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා ධර්ම චක්‍රය. අපි කලින් ප්‍රකාශ කළ ආකාරයට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා අකුසල්වලින් ඉවත්වෙලා කුසල් මාර්ගයේ ගමන් කරමින් ඊළඟට කය වචනය ශීලයෙන් සකස් කරගෙන, සිත සමාධියෙන් කරගෙන ඊළඟට විදර්ශනා ප්‍රඥාවෙන් මේ ලෝකයේ යථා ස්වභාවය දුටුවා නම් මේ අනාත්ම තත්ත්වය – අනිත්‍ය, දුක්ඛ, අනාත්ම – කියන ත්‍රි ලක්ෂණය යම් කෙනෙක් අවබෝධ කරගත්තා නම් පළමුවෙනි මට්ටමේ සෝවාන් තරමින් - ඒ පුද්ගලයා අර අපායගාමී පාපකර්ම වලින් මිදෙනවා, තව හත් වරයි උපදින්නේ. ඊළඟට ඒ විදියට ක්‍රම ක්‍රමයෙන් ගිහිල්ලා අන්තිමට රහතන් වහන්සේ මේ මුළු මහත් සංසාර පවත්වම කෙළවර කරලා ඒ උතුම් නිර්වාණ අවබෝධය ලබනවා.

අන්න ඒ අනුව මේ පින්වතුන් කල්පනා කරන්ට ඕන. එතකොට මේ කර්මය කියන එක මේක මේ අතීතයේ පොත් පත් වල තිබෙන කථාන්තර, මේවා බොරු දේවල් එහෙම නැතිනම් අතිශයෝක්තියෙන් මවාපෑ දේවල් කියලා, එහෙම හිතන්ට නරකයි. මේවා මහා ආශ්චර්යවත්, නමුත් සත්‍යයි. මොකද මේ විශ්වයේ පවතින ධර්මතාවල්, අපිට පේන දේවල්, සමහර විට පොඩි හැඩියටයි පෙනෙන්නේ. මේ අහස දිහා බැලුවහම පොඩි තරු පෙනෙන්නේ.. පොඩි තරු කැට. විද්‍යාඥයින් මේවායේ නියම ප්‍රමාණය කියන කොට අපිට තරු පේනවා. ඒ තරම් මහා පුදුම දේවල් අප අවට තියෙන්නේ. මේ තරුවක ප්‍රමාණය, අහසෙහි පෙනෙන මේ හඳ, හඳේ ප්‍රමාණය, සූර්යයාගේ ප්‍රමාණය විද්‍යාඥයින් කියනකොට අපි විශ්වාස කරනවා, ඒ අය විද්‍යාඥයින් නිසා. ඒ වගේ අපිට පුංචි හැටියට පෙනෙන දේවල් ඇත්ත වශයෙන් කොයිතරම් විශාලද? කාලයත් අවකාශයත් පිළිබඳව ඒ විදියට බුදු පියාණන් වහන්සේ වදාළ කාරණා සිතනකොට කෙනෙකුට ලොකු සංවේගයක් ඇතිවෙනවා. මේ තරම් කාලයක්, මේ තරම් විශාල අවකාශයක අපි මේ සත්ත්වයන් හැටියට සංසාරයේ ගමන් කරලා කියෙනවා නේද? මේ සංසාරයේ මුලක් පේන්නේ නැත කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. චතුරාර්ය සත්‍යය නොදැනීමෙන් සත්ත්වයා අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ සංසාරයේ ගමන් කරන කාලය බුදු කෙනෙකුටවත් කියලා නිම කරන්ට බැහැ කියලා. ඒ තරම් කොනක් නැතෙයි, කියලා නිම කරන්ට බැහැ කියලා. ඒ තරම් මහ පුදුම විදියේ කෙනෙකුට සංවේගය ඇතිවෙන විදියේ තත්ත්වයක් බුදු පියාණන් වහන්සේ මතු කරලා දෙන්නේ. ඒවා ගැන විශ්වාස නොකළත් අර විද්‍යාඥයින් තාරකා විද්‍යාඥයින් කියන දේවල්, අනිත් අය කියන දේවල්, ලොකුවට අපි ප්‍රකාශ කරනවා, මේවා මේ මහා පුදුම දේවල් හැටියට. ඊට වඩා පුදුම දේවල් බුදුපියාණන් ප්‍රකාශ කරලා තිබෙන්නේ මේ සංසාරය පිළිබඳව. ඇත්ත වශයෙන්ම ඒ බාහිර දේවල් ගැන අවබෝධය, ඒ පිළිබඳව හෙළිකරල තියෙන දේවල්, බොහෝවිට ලෝකයා යොදාගන්නේ අකුසල් පැත්තට. තව තවත් පංචකාම සම්පත්තියට නැඹුරු වෙලා මේ ලෝකය වගාකර කර ගැනීමට.

බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා, “න සියා ලොක්වඩ්ධනෝ” කියලා. ලෝක වගාව නෙවෙයි කරන්ට තිබෙන්නේ ලෝකයෙන් මිදීමයි, මේ සංසාරයෙන් මිදීමයි. අන්න ඒ සංසාරයෙන් මිදීමට උපකාර වන ටික තමයි බුදු පියාණන් වහන්සේලා ප්‍රකාශ කරලා තිබෙන්නේ, මේ ධර්මයේ. ඒකට තමයි මේ ධර්ම චක්‍රය කියලා කියන්නේ. මේ කර්ම චක්‍රයේ බල බිඳින්න පුළුවන් ධර්ම චක්‍රයෙනුයි. ඒක නිසා අපි කල්පනා කරන්ට ඕන, ඇත්ත වශයෙන්ම අපි තමතමන්ම ප්‍රශ්න කරලා බලන්නට ඕන, අනන්ත කාලයක් මේ සංසාරේ කර්ම චක්‍රය කරගෙන යනවාද, එහෙම නැත්නම් අපේ චිත්ත සන්තානය තුළ අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්ම චක්‍රය කරකවන්න උත්සාහවත් වෙනවාද කියලා. ධර්ම චක්‍රය කරකවනවා කියලා කියන්නේ අන්න අර කිව්ව ආකාරයට තමන්ගේ චිත්ත සන්තානය තැන්පත් කර ගැනීම සඳහා කාය වචනය හික්මවා ගැනීම වශයෙන් ඒ ශීලය – පංචශීලය හෝ මේ පෝය අටසිල් හෝ තවත් දශසිල් ආදී වශයෙන් තියෙන යම්කිසි ශීලයක් – ආරම්භක වශයෙන් තමන් සමාදන්වෙලා එදිනෙදා ඒක හරියාකාර රකින්න උත්සාහ කිරීමයි. එයින් ඇතිකර ගන්න, කය වචනය සංසුන්කර ගැනීමෙන් ලැබෙන, ඒ විවේකය තුළින් ඊළඟට සමාධිය - තමන්ගේ සිතේ යම් කිසි කමටහනක්, මෛත්‍රී සිතිවිල්ලක් එහෙම නැත්නම් ආශ්වාස ප්‍රාශ්වාසයට සිත යොදන ආනාපාන සතිය, අශුභ භාවනාව, මරණ සතිය ආදී යම් කිසි භාවනා කර්මස්ථානයක් තුළින් මේ දුවන සිත එක සිතුවිල්ලක රඳවා ගන්නට උත්සාහවත් වෙන්ට ඕන. ඒක තුළින් ලැබෙන සමාධිය සිතේ ඇති මුළු මහත් ශක්තිය පිළිබඳව තමන්ට අවබෝධයක් ලබා දෙනවා. මතේ සිතේ මේ තරම් ශක්තියක් තියෙනවා නේද, මම මෙතෙක් කල් මේක තේරුම් ගත්තේ නෑ, මේ ඉතා සුළු කොටසකිනුයි මම වැඩ ගත්තේ කියලා අවබෝධය එනවා, යම් කිසි විදියකින් සමාධියක් මතුකර ගන්න පුළුවන් උනානම්.

ඊළඟට එතනිනුත් නවතින්නේ නෑ. මේ සිත තැන්පත් කර ගන්නේ මොකටද? මේ මගේ ජීවිතය පිළිබඳව, ලෝකය පිළිබඳව, යථා ස්වභාවය අවබෝධ කරගැනීමටයි. මේ සංසාරයෙන් මිදීමටයි. ඒකට උපකාර වන මූලික කාරණය බුදු පියාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය නමින් දක්වලා තියෙනවා. ඒ දෙවිදේවතාවුන් බ්‍රහ්මයින් ඇතුළු මේ සැප විඳිනවා කියලා කියන සත්ත්වයින් ඇතුළු මේ මුළු මහත් සංසාරයම දුකක්. මොකද ඒක දුකක් වන්නේ? මේ හැම දේයක්ම අනිත්‍යයි. කිසිම දෙයක් නිත්‍ය වශයෙන් තබාගන්ට බෑ. යමක් අනිත්‍යද ඒ නිසාම එය, ඒ පෙරලෙන ස්වභාවය නිසාම, දුක් ගෙන දෙනවා. ඒක දුකක්. ඒ දුක් ස්වභාවයේ ඇති වෙනස්වන දෙය මමය මගේය කියලා තමන්ගේ වශයෙහි තබා ගන්නට බැරි, තමන්ට පාලනය කර ගත නොහැකි තත්ත්වයක් ලෝකයෙහි තිබෙනවා. ඒක නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළා ලකුණු තුනක්. ලෝකයේ හැම දෙයකම - නුවණින් කල්පනා කරලා බලනකොට, මේ ලකුණු දකින්ට පුළුවන්. ඒ ලකුණු දැකීමට පුළුවන් ඇසක් ඇති කර ගන්ට උත්සාහ වත් වෙන්ට ඕන. ඒ ඇසට කියන්නේ ‘විදර්ශනා ඇස’ කියලා. විදර්ශනා කියලා කියන්නේ විනිවිද දැකීම. ඒ දැකීම සඳහා ලෝකයේ නොයෙකුත් උපකරණ මේ කාලයේ නිපදවලා තියෙනවා. ඉතාම කුඩා දේවල් ලොකු කරලා දකින්ට පුළුවන් අණු දක්නයන් තිබෙනවා අන්වීක්ෂණ කියලා. අන්වීක්ෂණ යන්ත්‍ර, ඊළඟට දුරදක්න හැටියට තියෙනවා තවත් යන්ත්‍ර. මේ හැම එකක්ම යම් කිසි බාහිර උපකරණ මගින් කරන දේවල්. නමුත් මේ විදර්ශනාව කියන එක තමන්ගේ චිත්ත සන්තානය පිරිසිදුකර ගැනීමෙන් අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ආකාරයට මේ ලෝකයේ යථා ස්වභාවය දැකීමයි. අන්න ඒකට උපකාර වන දේ තමයි ලෝකයේ ඇතිවීම් නැතිවීම් පක්ෂය ගැන නිතර මෙනෙහි කිරීම. හැම කෙනෙකුන්ටම තම තමන්ගේ ප්‍රමාණයෙන් කරන්ට පුළුවන්. අපේ මේ ආශ්වාස ප්‍රශ්වාසය, අපේ මේ ශරීරයේ කොටස් ඇති වෙලා නැතිවෙන ආකාරය. මේ ආහාර පාන හැටියට ගන්නා දේවල් වලට යන කලදසාව. අපි මේ නොයෙකුත් සාප්පු වලට ගිහිල්ලා ගන්න වටිනා ඇඳුම් පැළඳුම් ආදී දේවල් වලට යන කල දසාව. මේ හැම දේකම - අපගේ මේ කුඩා දරුවන්ට, ඉතාමත්ම හුරතල් කරන දරුවන්ට යන කල දසාව. ඊළඟට ඒ අය ක්‍රම ක්‍රමයෙන් වැඩිලා මහළු වියට පත් වෙලා, හැරමිටි වලින් ගිහිල්ලා අන්තිමට නැවතත් අර කුඩා දරුවා ඔසවන්න වගේ මහළු වයසට පත් උනහම ඒ ආත්තලා මුත්තලා වෙලා ඔසවන්නට සිද්ධ වෙනවා.

ඒ විදියේ තත්ත්වයක් ලෝකයේ තිබෙනවා. ඒවා ගැන නිතර මෙනෙහි කරන්ට ඕන. ඒ තුළින් තමන්ට පෙනෙනවා මේ ලෝකයේ යථා ස්වභාවය, මේ සංසාරය පිළිබඳ යම් කිසි කලකිරීමක් – කලකිරීම කියන වචනයට බොහෝ දෙනා කැමති නෑ - නමුත් මේ සංසාරය පිළිබඳ යම් ප්‍රමාණයකට කලකිරීමක් ඇතිවෙනවා නම් ඒ ප්‍රමාණයට අර සියලු විදර්ශනා ප්‍රඥාව - අර ප්‍රඥා - දියුණු වෙනවා. සංසාරයෙන් මිදීමට පුළුවන් ශක්තිය තමන් තුළ මුවහත් වෙනවා. අන්න ඒ විදියට විදර්ශනාව වඩල අතීතයේත් ඒ උපාසක උපාසිකාවන් තමන්ගේ ජීවිකාව කොයිතරම් දිළිඳු උනත් කොයිතරම් නුගත් උනත්, ධම්මානුකූලව කල්පනා කරමින් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සීල සමාධි ප්‍රඥා වඩලා, වෙනකක් තබා ලෝකෝත්තර මාර්ග තත්වයන් පවා - තම තමන්ගේ නිවෙස් වලදීම - සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියල ඒ තත්ත්ව පවා ලබාගත්තු බව ධර්මයේ සඳහන් වෙනවා.

අන්න එක නිසා මේ පින්වතුන් කර්මය පිළිබඳව මේ තරම් ඇසුවේ මොකටද? මේ කර්මයෙන් මිදීමටයි. මේ කර්මයෙන් මිදීමට නම් උපකාර වන්නේ ධර්මය බව මතක තියාගෙන එතකොට අද මේ පෝය දවසේ මේ පින්වත් පිරිත ආජීව අට්ඨමක ශීලය කියන වටිනා ශීලයක් සමාදන් වෙලා මෙතෙක් වෙලා මේ ධර්මයට සිත යොදලා ධර්ම ශ්‍රවණය කළා. ධර්ම ශ්‍රවණමය කුශලය කියන්නේ අපේ සිත තුළ ඇතිවන යම් කිසි වැඩීමක්. මේ වැඩීම අපි වචන විශයෙන් කියනවා නම් මේක දක්වන්න පුළුවන් ශ්‍රද්ධාවෙන් සිත වැඩුනා. ලොකු ශ්‍රද්ධාවක් ඇතිවයි මේ පින්වතුන් මේ ස්ථානයට පැමිණියෙ ධර්මය ඇසීමට. ඊළඟට ඒ ශ්‍රද්ධාව අනුව මෙතෙක් වෙලාවක් - මේ නිකම්ම පොළවේ මෙහෙම ඉඳගෙන ඉන්න පුලුවන් යම්කිසි වීර්යයක් - කොහොම හරි මම මේ ධර්මය ශ්‍රවණය කරන්ට ඕන කියන අවබෝධය ඇතිව වීර්යයක් - ඇතිකර ගත්තා. ඒකත් සිතේ ඇතිවුන තත්වයක්. ශ්‍රද්ධාව, වීර්යය, ඊළඟට ධර්මශ්‍රවණය කරනකොට වචනයක් පාසා කන්දීමට යම් කිසි සතියක් සිහියක් යෙදුවා. ඊළඟට ඒ සිහිය බොහෝ වේලාවක් යොදනකොට පැයක් පමණ වෙලා කෙනෙකුට යම් කිසි ප්‍රමාණයක සමාධියක්, සිතේ එකඟ කමක් ඇතිවෙනවා. ඒ එකඟකම තුළින් තමන් ඇසූ දේවල්, කියවූ දේවල්, තැවත තැවතත් අසන්නට ලැබුනත් ඒවා පිළිබඳව ගැඹුරු වැටහීම් ඇතිවෙනවා. ඒකටයි ප්‍රඥාව කියලා කියන්නේ. ඔය විදියට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන නිවනට උපකාරීවන ඉන්ද්‍රිය ධර්ම - බලධර්ම - යම් යම් ප්‍රමාණවලට තම තමන්ගේ චිත්ත සන්තාන වල තැන්පත් කරගන්ට අවස්ථාවක් ලැබුණා කියලා සතුටු වෙන්න ඕන.

එතකොට අද මේ පින්වත් පිරිස තමන් මේ ධර්මයට යොමුවීම තුළින් ඇතිකරගත්තු ශක්තිය මේක අනාගතයකට තබන්නේ නැතිව මේ ජීවිතය තුළදීම තවත් මුවහත් කරගැනීම් වශයෙන් එදිනෙදා ජීවිතයට ළංකර ගන්ට ඕන ධර්මය. මේ අනිකුත් බාහිර ආර්ථික දේවල් මේවා බටහිර රටවල් වල කොතෙකුත් දියුණු කරගෙන සම්මෘද්ධිමත් උනාට ඒ අයට තේරිලා තියෙනවා ධර්මයේ වටිනාකම. මනුෂ්‍යයින් මේ තරම් ධනය රැස්කර ගත්තත් ඒ බාහිර රටවල, පිස්සන් තත්වයට පත්වෙලා මත්ද්‍රව්‍යවලට යොමුවෙලා, තව නොයෙකුත් භයානක විපත්ති වලට පත්වෙලා දැන් ධර්මය සොයාගෙන එනවා. අපේ රටේ මනුෂ්‍යයින් ඒ වෙනුවට අපේ මේ ධර්මය පැත්තකට දමලා අර සියලු බටහිරින් එන ඒ තත්ව හොයාගෙන පරිහානි මුඛයට ගමන් කරනවා. අන්න එබඳු යුගයක මේ නුවණැති පින්වතුන් අද දවසේ මේ පැය යෙදුවේ තමන්ගේ චිත්ත සන්තානය ධර්මයෙන් පෝෂණය කරලා සංසාර දුක්ඛයෙන් මිදීමට, උතුම්වූ නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට තමන් තුළ ශක්තියක් ඇතිකර ගැනීමටයි කියලා හිතලා සතුටුවෙන්ට ඕන.

දැන් කල්පනාකර ගන්ට ඕන විශේෂයෙන්ම මේ පින්වතුන්ට මේ ධර්මශ්‍රවණ ආනිසංසයෙන් අනාගතයේදී නොවමේ ජීවිතයේදීම ශීල, සමාධි, ප්‍රඥා වඩලා හැකි ඉක්මනට සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේධයෙන් උතුම් වූ අමා මහා නිවනින් සැනසෙන්නට ශක්තිය බලය ලැබේවා කියලා. ඒ ප්‍රාර්ථනාව තබගන්ට ඕනෑ. ඒ වගේම අපි මේ ධර්මදේශනාමය ධර්මශ්‍රවණමය විශයෙන් ඇති කරගත්තු කුශල සම්භාරයයි අපි දැන් ලෝකයාට බෙදා දෙන්නේ. මේ පින්වල වටිනාකම දන්නා අය සිටිනවා, අපේ මේ සාමාන්‍ය ලෝකයා නොදත්තත්. ඒ දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය, ශාසනාරක්ෂක දිව්‍යබ්‍රහ්ම මණ්ඩලයක් මේ ස්ථානයට අධිගෘහිත යම් කිසි දෙවි දේවතාවුන් සිටිත්නම් ඒ හැම දෙනාමත් මේ අප විසින් පැයක් තුළ රැස් කර ගත්තා ලද ධර්මදේශනාමය ධර්මශ්‍රවණමය කුසලය අනුමෝදන් වේවා. අනුමෝදන් වී ඒ පැතූ යම් බෝධියෙන් උතුම් වූ අමාමහ නිවනින් සැනසෙන්වා! ඒ වගේම අපටත් ශාසනයටත් ආරක්ෂාව සලසන්වා! කියන ප්‍රාර්ථනාව ඇති කරගන්ට ඕන. ඒ වගේම අවිචියේ පටන් අකනිටාව දක්වා වූ යම්තාක් සත්වයෝ වෙත්ද අපගේ මියගිය ඥාතීන් ඇතුළු, ඒ හැම කෙනෙක්ම අපගේ මේ ධර්මදේශනාමය ධර්මශ්‍රවණමය කුසලය අනුමෝදන් වී යම් දුගති තත්වවල ඇතොත් එයින් අත්මිදී සුගතිතත්ව වලට පත්වී ධර්මමාර්ගයේ යමින් සෝවාන් සකදාගාමී, අනාගාමී, අරහත් කියන ඒ මාර්ගඵල ප්‍රතිවේධයෙන් හෝ එහෙම නැත්නම් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් මේ අති ඝෝරවූ සංසාරදුකින් අත්මිදී උතුම් අමාමහ නිවනින් සැනසෙන්වා! එහෙම ප්‍රාර්ථනාව ඇති කරගෙන දැන් ඒ ගාථා කියලා පින් අනුමෝදන් කරන්න.

එත්තාවතා ච අම්හේහි…